ආයතනික වාර්තාව

මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය, 2013 වාර්තාව නිකුත් වේ.

බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ වාර්ෂික වාර්තාව අද නිකුත් කෙරිණ.

මෙය 2010 to 2015 Conservative and Liberal Democrat coalition government යටතේ ප්‍රකාශණය කරණ ලදී

ලේඛන

Human rights in Countries of Concern: Sri Lanka

පිවිසිය හැකි ආකෘතියක් ඉල්ලන්න.
ඔබේ ආධාරක තාක්ෂණය (තිර කියවන්නා වැනි) භාවිතා කරන්නේ නම් සහ මෙම ලේඛනයේ වඩාත් පිවිසිය හැකි ආකෘතියක අනුවාදයක් අවශ්‍ය නම්, කරුණාකර fcdo.correspondence@fcdo.gov.uk වෙත විද්‍යුත් තැපෑලක් යවන්න. කරුණාකර ඔබට අවශ්ය ආකෘතිය කුමක්දැයි අපට කියන්න. ඔබ භාවිතා කරන ආධාරක තාක්ෂණය කුමක්දැයි ඔබ පැවසුවහොත් එය අපට උපකාරී වනු ඇත.

විස්තර

වාර්තාව ශ්‍රී ලංකාව ඇතුළු සැලකිල්ලට ගත යුතු රටවල් 15 ක් සම්බන්ධව විශේෂ අවධානයකින් යුතුව ලොව මුළුල්ලේ මානව හිමිකම් තත්ත්වයන් මතු කර දක්වයි. වාර්තාවේ වෙනම පරිච්ඡේදයක 2013 කාලය තුළ ශ්‍රී ලංකාවේ තත්කාලීන මානව හිමිකම් තත්ත්වය පිළිබඳ විස්තර ලබා දෙයි. එම පරිච්ඡේදයේ පරිවර්තනය පහත දැක්වේ.

ශ්‍රී ලංකාව

2013 දී ශ්‍රී ලංකා‍වේ මානව හිමිකම් තත්ත්වය බරපතල අවධානය ගත්තක් විය. පශ්චාත් ගැටුම් පිළිබඳ ප්‍රගතිය අඛණ්ඩව සිදුවූවක් සමස්ත ප්‍රවනතාවය බොහෝ පැතිවලින් ගත් කල නිශේධනීය විය. මාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රහාර අඛණ්ඩව සිදු විය, මාධ්‍ය නිදහස හා ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ස්වාධීන දර්ශකවල දී ශ්‍රී ලංකාව පහළට වැටුණි. අග විනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය දණ්ඩන මුක්ති සංස්කෘතියක් පිළිබඳ අවධානයන් වඩාත් අවුස්සනු ලැබූ අතර ඇතැම් ආයතනයන්හි ස්වාධීනත්වයේ වපසරිය ඛාදනය කර දමනු ලැබීය. මානව හිමිකම් සඳහාවන එක්සත් ජාතීන්ගේ කොමසාරිස්වරිය අගෝස්තුවේ දී ලංකාවේ සංචාරයක යෙදුන අතර ඇය සැලකිය යුතු ප්‍රගතියක් පිළිගන්නා අතරම අඛණ්ඩව සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන් හා ආණ්ඩුව “එන්ට එන්ටම ඒකාධිපතිවාදී දිශාවක්” කරා ගමන් කිරීමේ සලකුණු ගැන සඳහන් කළා ය.

2013 නොවැම්බරයේ දී ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලීය ආණ්ඩු නායකයින්ගේ රැස්වීමට (CHOGM) සත්කාරකත්වය සපයන ලද අතර එය අගමැති, විදේශ ලේකම් හා ශ්‍රී ලංකාව සඳහා වන අමාත්‍ය හියුගෝ ස්වයර් ද සහභාගි වූහ. අගමැතිවරයා සිය සංචාරය තුළ දී යුද ගැටුමේ අවසාන සමයේ ජාත්‍යන්තර මානුෂීය හා මානව හිමිකම් නීතිය පිළිබඳ කෙරුණු උල්ලංඝනයන් හා අයථා භාවිතයන් ගැන වූ චෝදනා පිළිබඳව ශ්‍රී ලංකාව 2014 මාර්තු වන විට විශ්වාසනීය, පාරදෘශ්‍ය හා ස්වාධීන දේශීය ක්‍රියාවලියක් ස්ථාපනය කිරීමට අසමත් වුව හොත් ස්වාධීන ජාත්‍යන්තර විමර්ශනයක් ස්ථාපිත කිරීමට නවි පිල්ලෙයි විසින් කරන ලද ඉල්ලීමට සහය දීමට එක්සත් රාජධානිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි (UNHRC) තමන්ගේ තත්ත්වය උපයෝගී කර ගනු ලබන බව ප්‍රකාශ කළේ ය. අගමැතිවරයා 1948 ශ්‍රී ලංකාව ස්වාධීනත්වය ලද තැන් පටන් උතුරු පළාතෙහි සංචාරය කළ පළමු විදේශීය රාජ්‍ය නායකයා බවට පත් විය. ඔහු සමග බීබීසීය (BBC), අයිටීවී (ITV), ස්කයි (SKY) හා චෝගම් පැවති කාලය තුළ මානව හිමිකම් පිළිබඳව හා ශ්‍රී ලංකාවේ වගවීම පිළිබඳ ප්‍රගතියේ අඩුව පිළිබඳ වර්ධිත නිරීක්ෂණයක යෙදීමට දායකත්වයක් සැපයූ චැනල් 4 වැනි මාධ්‍ය සංවිධාන යාපනේ සංචාරයේ යෙදුනි. විදේශ ලේකම් වරයා හා ස්වයර් මහතා ශ්‍රී ලාංකීය සිවිල් සමාජ ක්‍රියාකාරකයන් හා මානව හිමිකම් ආරක්ෂකයින් (HRDs) විශාල පරාසයක් මුණ ගැසුණි.

එක්සත් රාජධානිය චෝදිත යුද අපරාධ සම්බන්ධ වගවීම, මානව හිමිකවලට ගරු කිරීම හා දේශපාලන විසඳුමක් පශ්චාත් ප්‍රතිසන්ධාන ක්‍රියාවලියෙහි අත්‍යවශ්‍ය මූලයන් ලෙස දකියි. ශ්‍රී ලංකාව විශ්වාසනීය දේශීය ක්‍රියාවලියක් ස්ථාපනය නොකරන්නේ නම් ජාත්‍යන්තර විමර්ශනයක් සඳහා වන අපේ ඉල්ලීමට සහාය දක්වන ලෙස කවුන්සිල සාමාජිකයන්ගෙන් අප ඉල්ලා සිටින 2014 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් ශ්‍රී ලංකාව පිළිබඳ සලකා බලනු ඇත. බරපතල මානව හිමිකම් ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කරන්නැයි ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් දිගටම ඉල්ලා සිටින එක්සත් රාජධානිය ප්‍රකාශනයේ නිදහස, ස්ත්‍රී අයිතිවාසිකම්, මැතිවරණ ක්‍රියාවලීන් හා නීතියේ පාලනය දියුණු කිරීමට ආණ්ඩුව හා සිවිල් සමාජය සමග කටයුතු කරයි. මානව හිමිකම් ආරක්ෂකයින් (HRDs), මාධ්‍යවේදීන්, චෝගම් සමයේ අමාත්‍යවරුන් මුණ ගැසුණු ජනතා සාමාජිකයින් කිසිදු පලි ගැනීමකට මුහුණ නොදිය යුතු යයි ද මෙම තත්ත්වය සමීපව දිගටම නිරීක්ෂණය කරන්නේ යයි ද අපි ශ්‍රී ලංකා ආණ්ඩුවට අවධාරණය කර ඇත්තෙමු.

2013 නොවැම්බරයෙහි සිය ශ්‍රී ලංකා සංචාරය තුළ දී අගමැති ඩේවිඩ් කැමරන් යාපනේ දමිළ වැසියන්ට කතා කරයි.

මැතිවරණ

පළාත් නවයෙන් තුනක නියෝජිතයන් 148 දෙනෙකු තෝරා ගැනීම සඳහා සැප්තැම්බර් 21 දින මැතිවරණයක් පවැත්විණ. 1987 සිට පළාත් සභා පිහිටුවීමෙන් පසු උතුරු පළාතේ පවත්වන ලද පළමු වන පළාත් සභා මැතිවරණය වූයේ මෙය යි. විරුද්ධ පාර්ශවීය දෙමළ ජාතික සන්ධානය (TNA) උතුරේ ඡන්ද වලින් 80% කට වැඩියෙන් දිනාගත් අතර පාලක එක්සත් ජනතා සන්ධානය මධ්‍යම හා වයඹ පළාත්වල පාලනය නැවත හිමි කර ගත්තේ ය. මැතිවරණ ක්‍රියාවලියේ දී බියගැන්වීම්, හිරිහැර කිරීම, රාජ්‍ය සම්පත් අයථා ලෙස භාවිතා කිරීම හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් තිබුණ ද මැතිවරණය සාමාන්‍යයෙන් ගත් කල සාමකාමී විය. මැතිවරණය “බිය ගැන්වීමෙන් තොර නොවුව ද සාපේක්ෂ වශයෙන් ප්‍රචණ්ඩ ක්‍රියාවන්ගෙන් තොර වූ” බව දේශීය මැතිවරණ නිරීක්ෂකයෝ සඳහන් කළ හ. පොදු රාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයෝ උතුරේ ඡන්ද බල ප්‍රදේශයේ බිය ගැන්වීමේ කටයුතු වල හමුදාවේ මැදිහත් වීම් සම්බන්ධ වාර්තා පිළිබඳ සිය අවධානය ප්‍රකාශ කළ හ. එක්සත් රාජධානිය මැතිවරණය පැවැත්වීම සාදරයෙන් පිළිගත් අතර මැතිවරණ නිරීක්ෂණය සඳහා අරමුදල් සැපයීමට ආධාර කළේ ය. චෝගම් සංචාරයේ දී අගමැතිවරයා උතුරු මහ ඇමතිවරයා මුණ ගැසුණි. උතු‍රේ මැතිවරණය පැවැත්වීමට ශ්‍රී ලංකා ආණ්ඩුව ගත් තීරණය සාදරයෙන් පිළිගත් ඔහු සුළුතර දමිළ ජනයා සමග අර්ථවත් දේශපාලන විසඳුමකට එකඟ වන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ ය.

ප්‍රකාශනයේ හා රැස්වීමේ නිදහස

ප්‍රකාශනයේ හා රැස්වීමේ නිදහස දිගටම සීමා කරනු ලැබ ඇති අතර ස්වයං-වාරණය සාමාන්‍ය දෙයකි. අවධානය යොමු කළ යුතු සිද්ධින් ගණනාවක්ම තිබේ. මරණ තර්ජනවලට හා ඇගේ නිවසට එල්ලවූ ප්‍රහාරයෙන් අනතුරුව කොළඹ වාසය කළ එක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දිනියක සැප්තැම්බරයේදී රට හැර ගියා ය. පෙබරවාරියේ දී බෞද්ධ අන්තවාදීන්ගේ රැලියක් පිළිබඳව වාර්තා කරමින් සිටි බීබීසී කණ්ඩායමකට කල්ලියක් විසින් තර්ජනය කරනු ලැබිණ. මාර්තු 26 දින බීබීසීය එහි දමිළ භාෂා විකාශනය අත්හිටු වීය.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් දමිළ වැඩසටහන්වල “ඉලක්ක කරන ලද අත පෙවීම්”දක්වමින් ප්‍රචාරයේ යෙදෙනු ලැබේ. බීබීසී සේවාව තවමත් නැවත පටන් ගෙන නැත. අගමැතිවරයා යාපනය පාදක කරගත් උදයන් පත්‍ර කාර්යාලයට ගිය අවස්ථාවේදී දැක ඇති පරිදි මාධ්‍යය සම්බන්ධයෙන් ගත් කල උතුරේ තත්ත්වය දුෂ්කර එකකි. ජූලි 10 දින හඳුනානොගත් කණ්ඩායමක් විසින් උදයන් මාධ්‍යවේදියෙකුට පහර දෙනු ලැබූ අතර 2013 මුල වෙනස් වෙනස් අවස්ථා තුනකදී දමිළ පුවත්පත් බෙදා හැරීමේ කාර්ය මණ්ඩලයට පහර දෙනු ලැබ තිබුණි. සිංහල හා දමිළ අලුත් අවුරුද්ද එළිපත්තේ සිට උදයන් කාර්යාලයට ගිනු තබනු ලැබිණ. උතු‍රේ මාධ්‍යවේදීන් බොහෝ දෙනෙකු හිරිහැර කිරීම් ගැන වාර්තා කර තිබේ. ශ්‍රීලංකා අධිකාරීන් මේ දක්වා ප්‍රහාර සම්බන්ධයෙන් වගකිව යුත්තන් සාර්ථක ලෙස නීතිය හමුවට ගෙන ඒමට අසමත් වී ඇත.

මැයි 30 දින ආණ්ඩු විරෝධී පුවත්පතක කර්තෘවරයෙකු පැහැර ගැනීමට දැරූ අසාර්ථක ප්‍රයත්නයක් සිදු විය. එක් ආණ්ඩු විරෝධී මුස්ලිම් දේශපාලනඥයෙකු ඔහු ඉන්දියවේදී මාධ්‍යයට කළ අදහස් දැක්වීම් නිසා කෙටි කාලයකට අත් අඩංගුවට ගෙන රැඳවුම්භාරයේ තබනු ලැබිණ.

මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව හා හියුමන් රයිට්ස් වොච් ඇතුළු ක්‍රියාකාරිහු ශ්‍රී ලංකාවේ “ගරුත්වයට”බලපාන ප්‍රශ්නවලට අදාල ඒවා ඇතුළු වාර්තා කිරීමේ නිදහස සීමා කරනු ලබන මාධ්‍ය ආචාර ධර්ම සංග්‍රහයක් හඳුන්වා දීමේ සැලසුම් පිළිබඳව අවධානය මතු කළ හ. විධිමත් ලෙස හඳුන්වා දී නොමැති මෙම සංග්‍රහය නීතියක් බවට පත් නොවන බව මාධ්‍ය අමාත්‍යවරයා පවසා සිටිය ද අනනුකූලතාවයේ පටලැවිලි තවමත් අපහැදිලි පවතී. එක්සත් රජධානිය මාධ්‍ය ආයතනවලට පහර දීම පිළිබඳව හා ප්‍රකාශනයේ නිදහසට එල්ල වී ඇති තර්ජන පිළිබඳව මෙහි දී මෙන්ම ශ්‍රී ලංකාවේ විශ්වීය වාරික විමර්ශනය (UPR) අනුමත කිරීමේ දී ද ශ්‍රී ලංකා අධිකාරීන් සමග සිය අවධානය මතු කළේ ය. එසේම රැස්වීමේ නිදහස සම්බන්ධ සිදුවීම් ගණනාවක් ද තිබුණි. මාර්තු 5 දින එක්සත් ජාතීන්ට පෙත්සමක් භාර දීමට කොළඹ කරා පැමිණි අතුරුදහන් වූ පුද්ගලයන්ගේ පවුල් සාමාජිකයන් සිය ගණනක් පොලීසිය විසින් වළක්වනු ලැබිණ. අප්‍රේල්වල දී ආගමික වශයෙන් පොළඹවන ද වෛරී ව්‍යාපාරවලට එරෙහිව පැවති සාමකාමී එකතුවක් පොලිසිය විසින් විසුරුවා හරිනු ලැබූ අතර ක්‍රියාකාරීන් ගණනාවක් තාවකාලිකව රැඳවුම්භාරයට ගනු ලැබිණ. අගෝස්තුවලදී තදාසන්න ප්‍රදේශයක විරෝධතාවක් මැඩලීමට එල්ල කළ හමුදා ප්‍රහාරයක ප්‍රතිඵලයක් වශයෙන් පුද්ගලයන් තිදෙනෙකු ඝාතනයට පත් විය. එක්සත් රාජධානිය මෙම ඝාතන සම්බන්ධයෙන් බරපතල අවධානය මතු කළ අතර මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා සිටියේ ය. නොවැම්බර් 13 වන දින අතුරුදහන් වූවන්ගේ පවුල් සාමාජිකයන් මානව හිමිකම් උත්සවයකට සහභාගි වීම සඳහා කොළඹට පැමිණිමෙන් වැළැක්වීමට යළිත් වරක් ආරක්ෂක හමුදා විසින් පියයවර ගැණින. නොවැම්බර් 14 වන දින ආණ්ඩු හිතවාදී විරෝධතාකරුවන් විසින් උත්සවයට පහර දෙනු ලැබිණ. නොවැම්බර් 15 හා 16 යන දිනවල පොලීසිය කොළඹ විරෝධතා පැවැත්වීම් හා පෙළපාලි පැවැත්වීම් වැළැක්වීමේ අධිකරණ නියෝගයක් ලබා ගත් අතර ප්‍රතිඵල වශයෙන් මානව හිමිකම් ආරක්ෂකයන් විසින් පැවැත්වීමට නියමිතව තිබූ ඉටිපන්දම් දල්වාගෙන ගමන් කිරීමේ පා ගමනක් අත්හැර දැමීමට සිදු විය. විස්තීරණ බිය ගැන්වීම හා ප්‍රවීක්ෂණය පෙන්වා දෙමින් චෝගම් සමයේ ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය චැනල් 4 කණ්ඩායමේ කොටසක් ඔවුන්ගේ සංචාරය කෙටි කිරීමට තීරණය කළ හ. දෙසම්බර් 10 දින මානව හිමිකම් දිනයේ දී නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලයෙහි දී අතුරුදහන්වූවන්ගේ පවුල් විසින් පවත්වන ලද පෙළපාලියකට වෙස් මුහුණු පැළඳගත් නාඳුනන මිනිසුන් කණ්ඩායමක් විසින් පහර දෙනු ලැබිණ.

මානව හිමිකම් ආරක්ෂකයින්

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාකාරකයන් සඳහා වන මෙහෙයුම් වාතාවරණය දුෂ්කරව පවතී. ප්‍රමුඛ මානව හිමිකම් ක්‍රියාකාරීහු අඛණ්ඩවම ආණ්ඩුවේ සාමාජිකයන්ගෙන් එල්ලවන ප්‍රසිද්ධ විවේචනයන්ට මුහුණ දෙමින් සිටින අතර රාජ්‍ය මාධ්‍ය මගින් “ද්‍රෝහීන්”ලෙස විත්‍රණය කරනු ලබති. ඔවුන්ගේ වැඩ කටයුතු කරගෙන යාමේදී මරණ තර්ජන එල්ල වීම ඇතුලු බියගැන්වීමවලට ක්‍රියාකාරීන් ලක්කරනු ලැබ තිබේ. චෝගම් හා නවි පිල්ලෙයි ගේ සංචාරය ආශ්‍රිත වැඩ කටයුතුවල යෙදුනු සිවිල් සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙකුට හිරිහැර කරනු ලැබිණ. එක් අයෙක් මරණ තර්ජන එල්ල වීමෙන් පසු සැඟවී සිටී. විදේශ ලෙකම්වරයා හා ස්වයර් මහතා මාධ්‍ය ක්‍රියාකාරීන්, අතුරුදහන්වූවන්ගේ පවුල්, වධබන්ධනවලට පැමිණවීම් වැළැක්වීමට වැඩ කරමින් සිටින්නන් හා ස්ත්‍රී අයිතීන් පිළිබඳ ක්‍රියාකාරීන් ඇතුළු ශ්‍රී ලංකා සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ පුළුල් පරාසයක් මුණ ගැසුණි.

පසුගිය සිදුවීම් පිළිබඳ විමර්ශනවල ප්‍රගතියක් නොවී ය. ඒ සිදුවීම්වලට ට්‍රාන්ස්පේරන්සි ජාත්‍යන්තර ආයතනයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයාගේ නිවසට 2008 දී එල්ල කළ අත් බෝම්බ ප්‍රහාරය; මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මානව හිමිකම් ආරක්ෂකයන් වන ශාන්ත කුමාර් හා ස්ටීවන් සුන්දරරාජා අතුරුදහන් වීම, කාටූන් ශිල්පී ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන් වීම හා 2011 දී යාපනේ දී ලලිත් කුමාර වීරරාජ් හා කූගන් මුරුගන් ගේ අතුරුදහන් වීම යන ඒවා ඇතුළත් වේ. රාජ්‍ය නොවන සංවිධාන රටේ ඒවායේ ක්‍රියාකාරීත්වයන් මත වන වැඩෙන සීමා පැනවීම් පිළිබඳ අවධානය ප්‍රකාශ කරති. විසම්මුතිය කෙරෙහි එල්ල කරන එහි ප්‍රහාරයන් උත්සන්න කිරීම සම්බන්ධයෙන් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය ශ්‍රී ලංකාවට චෝදනා කර ඇත. සැප්තැම්බරයේ දී ඇය ශ්‍රී ලංකාවේ “මානව හිමිකම් ආරක්ෂයන්ට, නීතීඥයන්ට හා මාධ්‍යකරුවන්ට අඛණ්ඩව එල්ල කරන ලද හිරිහැර කිරීමේ හා බියවැද්දීමේ ඉහළ මට්ටම් පිළිබඳව චෝදනාවන්ට සවන් දුන්” බව නවි පිල්ලෙයි සඳහන් කර ඇත.

යුක්තිය හා නීතියේ පාලනය වෙත ප්‍රවේශය

ජනවාරියේ දී ශ්‍රී ලංකා ජනාධිපති අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකගේ ඉවත් කිරීමට අනුමැතිය දුන්නේ ය. ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය දෝෂාභියෝගය ව්‍යවස්ථා විරෝධී යයි තීන්දු කළ අතර ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම, එක්සත් ජාතීන් හා ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමය ඇතුළු ජාත්‍යන්තර ක්‍රියාධරයින් ක්‍රියාවලිය පිළිබඳ අවධානය මතු කරනු ලැබීය. පෙබරවාරියේ දී ජාත්‍යන්තර අර්බුද කණ්ඩායම අධිකරණය මත හා දේශපාලන විසම්මුතිය මත එල්ල කරන ලද ප්‍රහාර “ශ්‍රී ලංකාවේ ඒකාධිපතිත්වය කරා වන හැරීම උත්සන්න කර” තිබීම ගැන අවධානය මතු කළේ ය. නවි පිල්ලෙයි නීතියේ පාලනය හා ප්‍රජාතන්ත්‍රීය ආයතනයන් යටින් බිඳ දමමින් තිබීමේ හා ඛාදනය කර දමනු ලැබ තිබීමේ මට්ටම පිළිබඳව ඉවසිල්ල අවධානයට ලක් කරමින් ශ්‍රී ලංකාව වැඩි වැඩියෙන් ඒකාධිපති වෙමින් සිටි බව සම්බන්ධ අවධානය ප්‍රතිරාවය කළා ය. ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේ මානව හිමිකම් ආයතනය දෝෂාභියෝගය විමර්ශනය කිරීම සඳහා ලංකාවේ සංචාරයක යෙදීමට සැලසුම් කරන ලද නමුත් ඔවුන්ට වීසා දීම ප්‍රතික්ෂේප කෙරිණ. ඒ කාලයේ ශ්‍රී ලංකාව සම්බන්ධ අමාත්‍ය ඇලිස්ටෙයාර් බර්ට් “එවැනි ක්‍රියා ක්‍රියාවලිය වැඩි දුර පරීක්ෂණය සඳහා පෙනී සිටිනු ඇතැයි යනුවෙන් කියා සිටීම සම්බන්ධයෙන් විශ්වාසයක් පුබුදු කරන්නේ නැතැ”යි කියා සිටියේ ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා ස්ථිර නියෝජිතයා මැයිවල දී ත්‍රස්තවාදී විමර්ශන අංශය විසින් රැඳවියන් පිළිබඳ මධ්‍යගත, විස්තීරණ දත්තපාදකයක් ස්ථාපිත කර තිබෙන බව හා සිද්ධි 1,628 ක් පිළිබඳ විමර්ශන සම්පූර්ණ කර තිබෙන බව කියා සිටියේ ය. රැඳවියන්ගේ පවුල් දරන අදහස වන්නේ දත්තපාදකය වෙත නිදහසේ ප්‍රවේශ විය නොහැකි බව ය.

අගෝස්තුවේ දී ශ්‍රී ලංකා ආණ්ඩුව පොලිසිය පාලනය ආරක්ෂක අමාත්‍යංශයෙන් නීතිය හා සාමය පිළිබඳ නව අමාත්‍යංශයකට මාරු කිරීම ප්‍රකාශයට පත් කළේ ය. එය උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ (LLRC) වාර්තාව මගින් නිර්දේශිත පියවරක්ව තිබුණි. අමාත්‍යංශ දෙකම ජනාධිපතිවරයාගේ බල සීමාව තුළට අයත් විය. එසේම අගෝස්තුවේ දී 1900 – 2009 දක්වා උතුර හා නැගෙනහිර අතුරුදහන්වීම පිළිබඳ විමර්ශනය කිරීමට අතුරුදහන්වීම් පිළිබඳ විමර්ශන කොමිසමක් පත් කරනු ලැබීය.

“මෙම කාරණා විසඳීම පිළිබඳ වන ඕනෑම නව ප්‍රයත්නයක් සාදරයෙන් පිළිගනිමු. එනමුත් අවාසනාවකට…. බොහෝ “සුදු වෑන්” අතුරුදහන් කිරීම් වාර්තා වී ඇත….. අනෙකුත් ප්‍රදේශ එහි විෂය පථයට ඇතුළත් නොවේ” යයි නවි පිල්ලෙයි සඳහන් කළා ය.

චෝගම් කාලය තුළ ස්වයර් මහතා අතුරුදහන්වූවන්ගේ ඇතැම් පවුල් මුණ ගැසී ඔවුන්ගේ වුවමනාවන්ට ඇහුම්කන් දුන්නේ ය. කොළඹ යුරෝපීය කණ්ඩායම් දූත මණ්ඩල ප්‍රධානීන් බලහත්කාර හෝ අනිච්ඡානුග අතුරුදහන් වීම් පිළිබඳ වැඩ කණ්ඩායම ඇතුළු එක්සත් ජාතීන්ගේ අනෙකුත් විශේෂ මැන්ඩේට් බල දරන්නන් විසින් සංචාරය සඳහා කරනු ලබන විශේෂ ඉල්ලීම් පහසුකරණය කිරීමට වැඩිමනත් ආරාධනා කරන ලෙස ආණ්ඩුව දිරි ගන්වා ඇත.

2006 ශිෂ්‍යයන් පස් දෙනෙකු ඝාතනය කිරීමේ නඩුව නැවත ආරම්භ කරනු ලැබූ විට විමර්ශනවල යම් ප්‍රගතියක් ඇති වී තිබෙන අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයින් දෙළොස් දෙනෙකු අත් අඩංගුවට ගනු ලැබ තිබේ. කෙසේ වුව ද එම දොළොස් දෙනාම ඔක්තෝබර් මාසයේ දී ඇප මත නිදහස් කරනු ලැබ ඇත. බ්‍රිතාන්‍ය පුරවැසි කුරාම් ෂයික් ගේ ඝාතන නඩුව පිළිබඳව බ්‍රිතාන්‍ය අගමැතිවරයා සිය සංචාරයේ දී විමසනු ලැබුව ද වසර අවසාන වන තෙක් නඩුව විභාගයට ගෙන නොතිබුණි.

මරණ දඬුවම

ශ්‍රී ලංකාව 1976 පටන් මරණ දඬුවම පිළිබඳ තත්වාකාර තාවකාලික අත්හිටුවීමක් පවත්වාගනු ලැබ තිබේ. ශ්‍රී ලංකා ආණ්ඩුව මරණ දඬුවම ජීවිතාන්තය දක්වා වන දඬුවමක් බවට වෙනස් කිරීමේ හැකියාව පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා කමිටුවක් පත් කළේ ය.

වධ හිංසනය

පොලිස් අත් අඩංගුවේ සිටියදී වධ හිංසනයට පත් කිරීම පිළිබඳ චෝදනා දිගටම එල්ල වන අතර 2011 දී ජාතික ක්‍රියා සැලැස්ම ඇතුළත් කර තිබිය දීත් මෙයට ආමන්ත්‍රණය කිරීම සඳහා කිසිදු නීතියක් හඳුන්වා දෙනු ලැබ නැත.

2013 සමයේ සිවිල් සමාජය පොලිස් අත්අඩංගුවේ සිටිය දී සිදුවූ මරණ පිළිබඳ අවධානය ප්‍රකාශ කර තිබේ. සිවිල් සමාජ සංවිධානයක් වන සිකුරාදා සංසදය (The Friday Forum) සැකකරුවන් අභිරහස් තතවයන් යටතේ - විශේෂයෙන් පොලීසිය විසින් ඝාතනය කර තිබූ සිද්ධිවලදී පොලිස් නිලධාරින්ට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා නොතිබුණ බව සඳහන් කර තිබේ. දෙසැම්බරයේ දී ජාතික මානව හිමිකම් කොමිසම පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කාර්යාලයේ සහාය ඇතිව ස්ථාපනය කිරීමට තිබූ වධ හිංසනය සම්බන්ධ සැලසුම් කරන ලද විමර්ශනය කල් දැමූ බව ප්‍රකාශ කළේ ය.

ගැටුම් හා සිවිල් වැසියන්ගේ ආරක්ෂාව

ශ්‍රී ලංකා ආණ්ඩුව පශ්චාත් ගැටුම් ප්‍රතිනිර්මාණය, අභ්‍යන්තර වශයෙන් අවතැන් වූ පුද්ගලයන් ආපසු ඒම, බිම් බෝම්බ ඉවත් කිරීම සම්බන්ධ වැඩ දිගටම කරගෙන ගිය ද සැලකිය යුතු අභියෝගයන් ඉතිරිව පවතී. ශ්‍රී ලංකා ආණ්ඩුව හා දමිළ කොටි යන දෙපාර්ශවයම විසින් කරනු ලැබ තිබෙනවා යයි චෝදිත යුද අපරාධ සම්බන්ධ වගවීම පිළිබඳ ජාත්‍යන්තර යොමු වීමක් අඛණ්ඩව පැවතිණ. 2014 මාර්තු වන විට විශ්වසනීය, පාරදෘශ්‍ය හා ස්වාධීන දේශීය ක්‍රියාවලියක් නිසි ලෙස ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව අසමත් වනනේ නම් ස්වාධින ජාත්‍යන්තර විමර්ශනයක් ස්ථාපනය කිරීමට නවි පිල්ලෙයි විසින් කරනු ලබන ඉල්ලීමට සහාය දැක්වීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ එක්සත් රාජධානිය තමන් දරණ තත්වය උපයෝගී කර ගන්නා බව අගමැතිවරයා පැවසීය. නවි පිල්ලෙයි අභ්‍යන්තර අවතැන්වූවන් නැවත පදිංචි කිරීම හා භෞතික ප්‍රතිනිර්මාණය පිළිබඳ ප්‍රගතිය පිළිගත් අතර භෞතික ප්‍රතිනිර්මාණය පමණක් ම ප්‍රතිසන්ධානය, ගරුත්වය හෝ දිගුකල් පවත්නා සාමය ගෙන නොඑනු ඇති බව සඳහන් කළා ය. ඇය වගවීම, යුදකරණය හා ස්ත්‍රීන්ගේ ආරක්ෂාව ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ සැලකිල් යොමු කළා ය. අභ්‍යන්තර අවතැන්වූවන්ගේ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා ඔක්තෝබරයේ දී ලංකාවේ සංචාරය කළේ ය. ඔහු “යටිතල ව්‍යුහය යළි ගොඩනැගීමේ සිත්ගන්නා ඉදිරි පියවර” ගැන සඳහන් කළේ ය. එසේම ඔහු නැවත පදිංචි කරන ලද හා ඉතිරිව සිටින අභ්‍යන්තර වශයෙන් අවතැන් වූවන්ට දේපළ අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට, නැතිවූ පවුල් සාමාජිකයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට හා නීති සේවාවන්ට ප්‍රවේශවීමට අවකාශ සලසන පරිසරයක් නිර්මාණය කිරීමේ වැදගත්කම ගැන ද සඳහන් කළේ ය.

යුද්ධය සමයේ ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳ හමුදාවට එරෙහි යෝජනාවන් විමර්ශනය කිරීමට විමර්ශන යුද අධිකරණයක් පත් කරන ලද බව ජනවාරියේ දී වාර්තා විය. හමුදාව සිවිල් ජන හානි මග හැරීමට සෑම පූර්වෝපායක්ම ගත් බව විමර්ශන සම්පිණ්ඩනය පැවසුව ද අනාගතයේ දී සමාන්තර හානි අවම කිරීමට හෝ මුලිනුපුටා දැමීමට හමුදා මෙහෙයුම් යළි ඇගයීමට භාජනය කළ යුතු බවට නිර්දේශ කළේ ය. අවසාන වාර්තාව ජනතාවට ඉදිරිපත් කළේ නැත. සත්‍යතාවය පිළිබඳ අවශේෂිතයන් තිබියදීත් චැනල් 4 වීඩියෝ පටයේ සාරය විමර්ශනය කරමින් සිටි බවට ශ්‍රී ලංකාව මැයිවල දී යුරෝපීය පාර්ලිමේන්තුවට සහතිකයක් දුන්නේ ය. කෙසේ වුව ද සැලකිය යුතු විමර්ශනයක් පැවතුණේ නැත. ආණ්ඩුව අතුරුදහන්වූවන් පිළිබඳ කොමිසමක් පත් කිරීමට අමතරව “මරණ සංඛ්‍යාවන් හා දේපළවලට වූ විනාශය” තක්සේරු කිරීමට සංගණනයක් ද පැවැත් වීය.

කලින් පැවති ගැටුම් කලාපයෙහි ඉඩම් මතභේදයට තුඩුදී තිබූ ප්‍රශ්නයක් ලෙස ශේෂ වී පැවතුණි. ආරක්ෂක හමුදා විසින් අත්පත් කරගෙන තිබෙන විශාල ඉඩම් ප්‍රමාණයක් අධි ආරක්ෂිත කලාපවලින් ඉවත් කර ප්‍රජා කටයුතු සඳහා ආපසු දෙනු ලබන බව ආණ්ඩුව පැවසීය. කෙසේ වුව ද විරුද්ධ පාර්ශවීය දමිළ ජාතික සන්ධානය චෝදනා කළේ එසේම හමුදාව විසින් සංවර්ධන කටයුතු සඳහා යයි දක්වමින් කළ රහසිගත හා අත්තනෝමතික ලෙස ඉඩම් අත්පත් කරගැනීම් ද වූ බව ය.

ආගමික හෝ විශ්වාසය පිළිබඳ නිදහස

මුස්ලිමුන්ට හා ක්‍රිස්තියානිවන්ට එරෙහි ප්‍රහාර දිගටම සිදු විය. දේශීය රාජ්‍ය නොවන සංවිධානයක් ජනවාරි සිට ජූලි දක්වා මුස්ලිම්වරුන්ට එරෙහිව සිදුවීම් 227 ක් ද ක්‍රිස්තියානුවන්ට එරෙහිව සිදුවීම් 60 ක් ද ප්‍රලේඛනගත කර තිබේ. ප්‍රහාරයන්ට ප්‍රචණ්ඩ ක්‍රියා, ශ්‍රද්ධ වස්තු කෙළෙසීම, හිරිහැර කිරීම, වෛරී කතා හා දේපල අල්ලා ගැනීම් ඇතුළත් විය. ජාතික වාදී බෞද්ධ කණ්ඩායම් විසින් කරන ලද ප්‍රකාශන උද්වේගය ඇවිලවීය. නිදසුන් ලෙස බොදු බල සේනා පෙබරවාරියේ දී ශ්‍රී ලංකා ආණ්ඩුව “සිංහල බෞද්ධ වශයෙන් පැවතිය යුතුය, මෙය සිංහල රටකි, සිංහල ආණ්ඩුවකි. ප්‍රජාතන්ත්‍රීය හා බහුත්වවාදී සාරධර්ම සිංහල වර්ගයා මරණු ලබයි” යනුවෙන් පැවසීය. අගෝස්තු 11 වන දින කොළඹ ග්‍රෑන්ඩ්පාස් මුස්ලිම් පල්ලියට එල්ල කළ ප්‍රහාරයක් රාත්‍රී දෙකක් පොලිස් ඇඳිරි නීතිය පැනවීමට හේතු විය. එක්සත් රාජධානිය ආගම් අතර සාමකාමී සහපැවැත්ම ප්‍රවර්ධනය කිරීමට පියවර ගන්නැයි ද ප්‍රහාර පිළිබඳ විමර්ශනය කර වගකිව යුත්තන් නීතිය හමුවට පැමිණවිය යුතු යයි ද ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටයේ ය. කොළඹ යුරෝපා සංගම් ප්‍රධානීහු ප්‍රහාරයන් පිළබඳව ඔවුන්ගේ අවධානය ප්‍රකාශ කරමින් ප්‍රකාශයක් නිකුත් කළ අතර වගකිව යුත්තන් නීතිය හමුවට ගෙන එන්නැයි අධිකාරීන්ගෙන් ඉල්ලා සිටියෝ ය. ප්‍රහාරයන් පිළිබඳව විමර්ශනකයක අඩුව ගැන අවධානයන් දිගටම පවතී. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ ඇයගේ සැප්තැම්බර් යාවත්කාලීනයේ දී නවි පිල්ලෙයි ශ්‍රී ලංකා “ආණ්ඩුවේ සංවාදකයන් මෙම ප්‍රශ්නයේ වැදගත්කම අවක්‍තක්සේරු කරන අන්දමින් කතා කිරීම හෝ සුළුතර ප්‍රජාවන් මත පවා වැරැද්ද පැටවීම” ගැන කණගාටුව පළකළ අතර “අන්තවාදී කණ්ඩායම්වලට රාජ්‍ය අනුග්‍රහය සැලසීම හෝ ආරක්ෂාව ලබා දීම” පිළිබඳ වාර්තා ගැන සඳහන් කළා ය.

ස්ත්‍රී අයිතිවාසිකම්

2013 දී ශ්‍රී ලංකාව ලෝක ආර්ථික සංසදයේ ගෝලීය ස්ත්‍රී පුරුෂ සමාජභාව පරතර දර්ශකයෙහි එහි 2012 ශ්‍රේණි ගත කිරීමෙහි 39 වන ස්ථානයෙහි සිට 55 වන ස්ථානයට වැටී ඇත. ආණ්ඩුව තුළ ස්ත්‍රී සහභාගිත්වය පහළ මට්ටමක පවතී. ස්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රීනියන් ගණන 13 ක් (මුළු ගණනින් 5%) පමණි. ලිංගික දූෂණය ඇතුළු ස්ත්‍රී පුරුෂ සමාජභාව පාදක හිංසනය පිළිබ‍ඳ වාර්තා බරපතල අවධානයට ලක් විය යුතුව අඛණ්ඩව සිදුව ඇත. පොලිස් විභාවන සමීක්ෂණයක් කියා සිටින්නේ පොදු මහජනයා මෙම ප්‍රශ්නය පිළිබඳව වැඩිවන අවබෝධයකින් පසු වෙයි.

රටේ උතුර හා නැගෙනහිර ද ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් අවධානයකට ගත යුතුව පවතී. එම ප්‍රදේශ වටා කඳවුරු ලා සිටින හමුදාව විසින් කරනු ලබන ලිංගික හිංසනයන් හා ලිංගික දූෂණ පිළිබඳ වාර්තා ඇතුළු 89,000 කට අධික යුද වැන්දඹුවන් මුහුණ දෙන ප්‍රශ්න පවතී. ශ්‍රී ලංකා ආණ්ඩුව සමග සාකච්ඡා කිරීමේ දී අපි මේ වාර්තා පිළිබ‍ඳ අවධානය මතු කළෙමු.

කොළඹ අපේ මහ කොමසාරිස් කාර්යලය ජාත්‍යන්තර ස්ත්‍රී දිනය හා ස්ත්‍රීන්ට එරෙහි හිංසනය පිටු දැකීමේ ජාත්‍යන්තර දිනය පිළිබඳ ප්‍රකාශන නිකුත් කළෙමු. එක්සත් රාජධානිය ගෘහස්ථ හිංසනයට ගොදුරුවූවන් සමග වැඩ කරන හා මහ ජනතාව ද ආණ්ඩුව ද අතර දැනුවත් බව නගාලීමට වැඩ කරන දේශීය සංවිධානයකට මූල්‍ය සහාය ලබා දී ඇත.

චෝගම් ස‍‍ඳහා වූ ඔහුගේ සංචාරයේ දී විදේශ ලේකම්වරයා ලිංගික හිංසනය මුලපිරුම වැළක්වීම පිළිබඳ දේශනයක් පැවැත්වී ය. ලිංගික හිංසනය පිළිබඳ චෝදනාවන් පිළිබඳ විශ්වසනීය හා ස්වාධීන විමර්ශන කර ගෙන යාමට, වින්දිතයන්ට වඩා වැඩි සහයක් සැපයීමට හා සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව සලසන නීති සම්මත කිරීමට ඔහු ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ ය. එසේම ඔහු එක්සත් රාජධානිය ශ්‍රී ලංකාව ලිංගික හිංසනය ගෝලීය වශයෙන් තුරන් කිරීමේ ජාත්‍යන්තර ව්‍යාපාරයට සම්බන්ධ වනු දැකීමට කැමති බව ද සඳහන් කළේ ය.

සුළුතර අයිතිවාසිකම්

මේ සම්බන්ධයෙන් උගත් පාම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ තිබියදීත් ආණ්ඩුව සුළුතර දමිළ ප්‍රජාව සමග දේශපාලන විසඳුමක් සඳහා වන යෝජනා ඉදිරිපත් කර නොමැත. සුළුතරයේ උවමනා එපාකම් පිළිබඳව දමිළ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා ආණ්ඩුව අතර සාකච්ඡා නැවතී තිබේ. පළාත් සභා නිර්මාණය කළ 13 වන සංශෝධනයට කළ හැකි වෙනස්කම් ගෙන ඒමට පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කමිටුව තුළ විපක්ෂයේ නියෝජනයක් නොමැත. සුළුතර ජනයා සඳහා අර්ථවත් දේශපාලන විසඳුමකට ඒමට හැකියාව ලබා දෙන සද්භාවී සාකච්ඡාවන් පවත්වා ගැනීමට දමිළ ජාතික සන්ධානය සමග වැඩ කරන්නැයි එක්සත් රාජධානිය ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

දමිළ ජාතික සන්ධානය හා සිවිල් සමාජය උතුර හා නැගෙනහිර ප්‍රධාන කොටම දමිළ හා මුස්ලිම් ජනයා ජීවත්වන ප්‍රදේශවල “සිංහල ජනපද පිහිටුවීම” පිළිබඳව අවධානය ප්‍රකාශ කොට තිබේ. චෝදනාවලට ස්ථානවල නම් දෙමළෙන් සිංහලට වෙනස් කිරීම, බෞද්ධ පන්සල් ඉදි කිරීම හා දකුණේ ඉදිකරන්නන්ට, කොන්ත්‍රාත්කරුවන්ට හා ව්‍යාපාරිකයන්ට අනුග්‍රහ පාමින් සුළුතර ජනයාට වෙනස් කොට සැලකීම ඇතුළත් වේ.

ඔවුන් සිංහල හා දමිළ භාෂා කතා කරන නිලධාරීන් වසර පහක් තුළ රට පුරාම පොලිස් ස්ථානවල සේවයේ යෙදවීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා පොලීසිය ප්‍රකාශයට පත් කර තිබේ. එක්සත් රාජධානිය ශ්‍රී ලංකා පොලීසියට ප්‍රජා පාලනය ප්‍රවර්ධනය කිරීමේ හා දමිළ භාෂා පුහුණුව ලබා දීමේ ව්‍යාපෘතියකට ආධාරකර තිබේ.

ළමා අයිතිවාසිකම්

ශ්‍රී ලංකාව ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ පාර්ශවයක් වන අතර ළමා මර්ත්‍යතාව, මානසික සෞඛ්‍යය හා මානව ප්‍රතිශක්ති ඌනතා වයිරස් රෝගය හා ඒඩ්ස් (HIV/AIDS) හා සම්බන්ධ සහශ්‍ර සංවර්ධන අරමුණු මුදුන්පත් කර ගැනීම කරාවන ප්‍රගතියක් අත්කර ගෙන තිබේ. ව්‍යභිචාරය හා ලිංගික සූරාකෑම ඇතුළු ලිංගික අපයෝජනය ප්‍රශ්නයක් වශයෙන් පවතී. රාජ්‍ය නොවන සංවිධාන 2013 කාලය තුළ ළමා ලිංගික අපයෝජනයේ වැඩි වීමක් වී ඇති බව හා ඇතැම් ප්‍රජාවන් අතර ඌන වයැසැති විවාහ දිගටම සිදුවන බව නිරීක්ෂණය කර තිබේ. ගුරුවරුන්, විදුහල්පතිවරුන්, ආගමික ශික්ෂකයන් විසින් ළමුන්ට එරෙහිව කරන ලිංගික අපයෝජනය පිළිබඳ මෙන්ම දේශපාලකයන් කරන ළමා ලිංගික දූෂණවල වැඩි වීමක් පිළිබඳ නිතිපතා වාර්තා වී තිබේ. ළමුන්ට යුක්තිය සහතික කිරීමේ හා ළමුන්ට එරෙහි ලිංගික අපයෝජනයන් හා හිංසනයන් වැළක්වීමේ යාන්ත්‍රණයන් ශක්තිමත් කරනු ලැබීම අවශ්‍යව තිබෙන බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) පැවසීය.

සමලිංගික, ද්විලිංගික හා පාර ලිංගික අයිතිවාසිකම් (LGBT rights)

ශ්‍රී ලංකාවේ නීතිය යටතේ සමලිංගිකතාවය නීතිවිරෝධී ය. මැයිවල දී කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සමලිංගික, ද්විලිංගික හා පාර ලිංගික ප්‍රජාවේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ලාභ නොලබන සංවිධානයක් වන සමබිම (Equal Ground) සංවිධානයට චෙක් පතක් ප්‍රදානය කිරීම සමගින් සමලිංගිකතාවයට එරෙහි ජාත්‍යන්තර දිනය සැමරී ය. එසේම මහ කොමසාරිස් කාර්යාලය හිරිහැර පිළිබඳ අවධානය නගාලමින් සමලිංගික, ද්විලිංගික හා පාර ලිංගික ප්‍රජාවේ අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරකම්වලට සහාය දුනි.

Updates to this page

පළ කළේ 14 May 2013
අවසන් වරට යාවත්කාලීන කළේ 17 April 2014 + show all updates
  1. Updated with 213 HRD Report

  2. Latest quarterly update has been added.

  3. added the latest quarter update

  4. First published.

Sign up for emails or print this page